කහට මල

කහට ගසේ මල් පිපෙන්නෙ අවුරුදු කාලෙට පමණයි
වට රවුමට සියුම් රෝස මල් වඩමක් ලෙසට සැදෙයි
සිය ගනනක් මල් පිපිලා නිල් කොළ පිරි අතු පුරවයි
අවුරුදු ලඟ එනවා යයි හඟවන්නේ ලිතක් වගෙයි

එදා උදේ මගේ පළමු තේ කෝප්පෙ තොලගාමින්
තව දවසක් උදාවෙනව මම බැලුවේ යොවුන් ඇසින්
කහට ගසේ මල් දුටුවේ රෝස පාට වියනක් මෙන්
අහසේ නිල් පසු තලයට ගැළපෙනවා එය මැනවින්

සියුම් සිනිදු මල් හැදුනේ ගොරෝසු රළු කහට ගසේ
මඩ වගුරේ සැදී වැඩුන රෝස නෙලුම් ගොන්නක් සේ
මලෙන් ගසක පියකරු බව වර්ධන කෙරුවාට මෙසේ
දිගු කලකට පවතාගෙන යන්නට හැකිදැයි එලෙසේ

තේ බීලා ඉවර වෙලා පුටුවෙන් නැගිටින මොහොතේ
නැවතත් නෙත් යොමු කෙරුවා සොබා සෞන්දර්ය වෙතේ
එකම මලක් සුලඟට ගිලිහෙනු දුටුවා උඩ අත්තේ
පාවී විත් පතිතවුනා වියලී ගිය කොළ මත්තේ

අනික් මල් වගේ නෑ මේ මල් හැඩි දැඩි ලෙස සැදිලා
සුලු කාලයකින් වියැලී යනවා දරඳඩු වීලා
දුඹුරු පාට කොල පලසේ පාට සමග එක් වීලා
වෙනසක් නෑ වියලි මලත් කොළ පලසත් හා වීලා

මගේ ජීවිතෙත් මෙලෙසයි මල් වගෙ ලස්සන නොවුනත්
පවුලෙ බැඳීමෙන් ලැබු සුරැකුම කලකින් නැතිව ගියත්
වැටෙන්න වෙයි යම් දවසක මම ලෑස්ති නැතිවූවත්
ලෑස්ති කර ඇති පලසක් මගෙ ඉරණම මට දැනටත්